MAS සමූහය සිය සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරනු ලබන, තත්ව කව (Quality Control Circle – QCC) ව්‍යාපෘති ඇගයීම සඳහා සංවිධානය කරන ලද ‘Future Stars’ සම්මාන උළෙල පසුගියදා ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. MAS හි සියලුම කර්මාන්තශාලා සහ විවිධ අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් මෙයට එක්වූ අතර, සමස්ත උත්සවය පුරා දැකගත හැකි වූයේ මහත් උද්යෝගයකි.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ කණ්ඩායම් මට්ටමින් ක්‍රියාත්මක කළ තත්ව කව ව්‍යාපෘති හඳුනාගෙන, ඒවායේ නවෝත්පාදන අදහස්, නිෂ්පාදන ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ සංකීර්ණ ගැටළු විසඳීමේ හැකියාව අගය කිරීමයි. MAS ආයතනය තුළ ගුණාත්මක සංස්කෘතියක් සහ නිර්මාණාත්මක චින්තනයක් ඇති කිරීම සඳහා මෙම වේදිකාව මනා පිටුවහලක් වෙයි. තරගාවලිය ප්‍රධාන වශයෙන් ‘Team Member’ සහ ‘Executive’ ලෙස කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වුණු අතර, සෑම අංශයක්ම තමන්ගේ හොඳම ව්‍යාපෘති මෙහිදී විනිශ්චය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි.
කර්මාන්තශාලා සහ අංශ මට්ටමින් පැවති ඉතා තරඟකාරී වට රැසකින් පසුව, සමස්ත MAS සමූහය තුළ නිම කරන ලද තත්ව කව 1,411ක් අතරින් විශිෂ්තටම කණ්ඩායම් 6ක් අවසාන මහා වටය සඳහා තේරී පත් විය. එහිදී ‘Team Member’ කාණ්ඩය යටතේ Noyon Lanka හි Team Hunters, MAS Active MFI හි Knit Savers සහ MAS Kreeda Campus හි Profit X යන කණ්ඩායම් Platinum සම්මාන ජයග්‍රහණය කළහ. ‘Executive’ කාණ්ඩය යටතේ MAS Kreeda Campus හි Commercial Thundercats, MAS Kreeda Vaanavil හි Team Nexters සහ Linea Aqua Naiwala හි QCO Blasters යන කණ්ඩායම් Platinum සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙහි Platinum සම්මාන ජයග්‍රාහකයින් හට විදේශ අධ්‍යාපනික සහ කාර්මික අත්දැකීම් ලබාගැනීමේ සංචාරයක් සඳහා සහභාගී වීමේ අනගි අවස්ථාව හිමි විය. සම්මාන ප්‍රදානයට අමතරව, විවිධ නර්තන අංග, ගායන වැඩසටහන් සහ විනෝදාත්මක ප්‍රසංග රැසකින් උත්සවය අලංකාර වූ අතර, එය සහභාගී වූ සැමට අමතක නොවන අත්දැකීමක් එක් කළේය. MAS Future Stars වැඩසටහනේ අනුශාසකත්වය දැරූ අජේ අමලියන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සව අවස්ථාවට නායකත්වය හා ජයග්‍රාහී කණ්ඩායම් ද සහභාගී වූ අතර මෙහිදී සේවකයින්ගේ කැපවීම සහ නවෝත්පාදන හැකියාවන් මැනවින් ප්‍රදර්ශනය විය.














