2018 වසරේදී MAS Intimates තුරුලිය ආයතනයේ පරීක්ෂකවරියක් (Checker) ලෙස උපේක්ෂා මධුමාලි පෙරේරා ඇඟලුම් කර්මාන්තයට පිවිසෙන්නේ කර්මාන්තය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැතිවය. එහෙත් දිනෙන් දින ඒ තුළින් අත්දැකීම් ලැබූ ඇය සාර්ථකත්වයේ මාවත ඉගෙනීම බව අවබෝධ කර ගැනීමට සමත් වූවාය. එතැන් සිට ඇය රැකියාව තුළින් බොහෝ දේ ඉගෙන ගනිමින් රැකියාව තුළින්ම ඉදිරියට එන්නට සමත් වූයේ 2024 වසර වන විට වැඩබලන නිෂ්පාදන විධායකවරියක් (Acting Value Stream Executive) බවට පත් වෙමිනි. එහිදී නිෂ්පාදන පේළි 6කට නායකත්වය දෙමින් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් තමන්ගේ කැපවීමේ හා අධිෂ්ඨානයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.
අන් නායකයින් මෙන් ඈත සිට අණ දීමට කටයුතු නොකළ ඇය තමන්ගේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරමින් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ක්‍රියාවෙන් පෙන්වා දුන්නේ අන් අයගේ ගෞරවය මෙන්ම විශ්වාසයද තමන් සතු කර ගනිමිනි. තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයින්ට වඩා වයසින් අඩු වුවද එකමුතුබව, නිර්මාණශීලීත්වය හා වගකීම සෑම කෙනෙක් අතරම බෙදා දෙන්නට කටයුතු කළාය. ගැටලු විසඳීමට හෝ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පමණක් සීමා නොවූ ඇය තම ආයතනය මෙන්ම තමන්ගේ කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් ද නිරන්තරයෙන් පෙනී සිටියාය.
යහමින් මුදල් හදල් නොතිබූ පවුලකින් ඇඟලුම් කර්මාන්තයට එක් වුණු උපේක්ෂා නිරන්තරයෙන් තමන්ගේ පවුලේ දියුණුව පිළිබඳව කල්පනා කළාය. ඇගේ සාර්ථකත්වය නිසාම තමන්ගේ පියාගේ විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නට මඟ පෑදු, තම පවුලේ හා වෘත්තීය ප්‍රගතියේ සාක්ෂියක් වශයෙන් ඇය 2023 දී ‘වසරේ සවිබලගැන්වූ කාන්තාව’ (Empowered Woman of the Year) ලෙස සම්මාන දිනා ගැනීමටද සමත් විය. එමෙන්ම ‘අනාගත කාන්තා නායකත්ව වැඩසටහන’ සඳහාද තේරි පත් වීමටද ඇයට හැකි විය.
‘කාන්තා නායකත්වය ඇඟලුම් කර්මාන්තයේ අනාගතය’ බව තරයේ විශ්වාස කරන උපේක්ෂාගේ බලාපොරොත්තුව වන්නේ තමන්ගේ මඟ පෙන්වීම තුළින් හෙට දවසේ කාන්තාවන් බාධක ජය ගනිමින් සාර්ථකත්වය කරා යාමට දිරිමත් කිරීමයි.
උපේක්ෂාගේ කතාව ඇතුළත් ලිපියේ සබැඳිය පහතින්