Close Menu
    Facebook X (Twitter) Instagram
    ඉරිදා, ජූනි 1
    Trending
    • පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!
    • කිරුළ දරන්නට සූදානම් වන්න!
    • තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර
    • දියුණු දැනුම වෙත දරුවන් රැගෙන යන ‘Book Drive’
    • ක්‍රීඩා ජවය උතුරාගිය ශේඩ් වොලිබෝල් ලීග් 2025
    • අභිමානී ජයග්‍රාහිකාවන්ගේ දිරිය කතාවන් – 2
    • දැයට ජයගෙන ආ නැඟීඑන ක්‍රීඩා තරු
    • MAS සමූහ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ විශේෂ අවුරුදු සුබ පැතුම!
    Diyani Online Magazine
    Facebook Instagram YouTube
    • Home
    • About
    • Divisions
      • Intimates
      • Active
      • Kreeda
      • Bodyline
      • Fabrics
      • Linea Aqua
      • Texo
    • Featured
    • Sports
    • Talent
    • Videos
    • Trending
    • Events
    • WGB
    Diyani Online Magazine
    Home»Featured»නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම
    Featured

    නොසැලී පෙරට යන ගමනක සිහිනය සවිබල ගැන්වීම

    Diyani EditorsBy Diyani Editorsසැප්තැම්බර් 1, 2024ප්‍රතිචාර නොමැත9 Mins Read
    Share
    Facebook WhatsApp LinkedIn Twitter Pinterest Email
    අභියෝග ජයගනිමින් කටුක දුෂ්කර කාලයන් පසුකරමින්, නොසැලී දිරියෙන් ඉදිරියට පැමිණි අභිමානවත් ශ්‍රී ලාංකිකයින් අටදෙනෙකු පැරා ඔලිම්පික් ක්‍රීඩකයින් සඳහා වන ලොව විශාලතම තරගාවලියේ තරගවදින්නට සුදානමින් සිටියි.
    අනිල්, ජනනි, නවීඩ්, නුවන්, පාලිත, ප්‍රදීප්, සමිත සහ සුරේෂ්, ඔබ සැම දැයට සුවිශාල ආඩම්බරයක්.
    බාධක මැදින් අධිෂ්ඨානයෙන් ඉදිරියට යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සැමට 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඇඟලු‍ම් සහකරු වන MAS අපගේ ගෞරවනීය ආචාරය!

    පස් වසරක‌‌ට පසු නැවත පිටියට පිවිස දැය දිනවූ අනිල් ප්‍රසන්න ජයලත්

    – මීටර් 100 ධාවන

    ඔහු නමින් අනිල් ප්‍රසන්න ජයලත්ය. අම්පාර උහන වෑරන්කැටගොඩ නම් ගම්මානයේ හැදී වැඩුණු අනිල් පාසල් ගියේ වෑරන්කැටගොඩ මහා විද්‍යාලටයි. කලා අංශයෙන් උසස් පෙළ හදාරා A සමාර්ථයන් සහිතව ඉහළින් සමත් වූ අනිල්ගේ එදවස සිහිනය වූයේ ගුරුවරයෙකු වීමයි. එළිවෙනකන් පාඩම් කර ඒ් සිහින එළි කරගන්නට සිතුවද ගෙදරදොරේ ආර්ථික ගැටලු ඔහුගේ සිහිනය බොද කළේය.

    නිතර යනඑන ගමේ කඩයේ බිත්තියේ ගසා තිබූ පොස්ටරයක් අනිල් දකින්නේ ඒ අතරය. එහි සිටි කමාන්ඩෝ භටයන්ගේ නිර්භීත රුව‌ට හිත යන අනිල් 2004 දී රැකියාව ලෙස හමුදාව තෝරා ගනී. එහෙත් 2009 පුදුකුඩුඉරුප්පු ප්‍රදේශයේදී එල්ලවූ දරුණු ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දණහිස කුඩු වී ගියේය. අවුරුදු ඒකහමාරක් තිස්සේ රෝහලේ ඇදක් උඩ නොවිදිනා දුක් විද අවසානයේ අනිල් හිතේ හයියෙන් නැගී සිටියේය.

    ක්‍රීඩාවට පිවිසි අනිල් 2014 ආසියානු පැරා මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 100 රන් පදක්කමද මීටර් 200 හා දුර පැනීම රිදී පදක්කම්ද දිනාගනී. 2017 දී ආර්ථික අපහසුතා හේතුවෙන් හමුදා රැකියාවට හා ක්‍රීඩාවට සමුදී සිල්ලර කඩයක් හා මල් පොච්චි වැඩපළක් ඇරඹුවද කොරොනා වසංගතය හේතුවෙන් එයද අඩපණ විය. වසර 5කට පසු නැවතත් ක්‍රීඩාපිටියට පිවිසෙන අනිල් 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනාදෙන්නේ හිතේ හයියේ ජවය පෙන්වමිනි. මෙවර පැරිස් පැරා ඔලිම්පික් උළෙලේ මීටර් 100 හොදම අට දෙනා අතරට පැමිණ පදක්කමක් කරායාම ඔහුගේ අරමුණයි.

    බාධක මතින් පැන ජයග්‍රහණය හඹා ගිය නුවන් ඉන්දික

    – මීටර් 100

    හම්බන්තොට, වැටිය බරවකුඹුර ගමේ ජීවත් වූ එම්. ජී. නුවන් ඉන්දික අධ්‍යාපනය ලැබූයේ වැටිය ධර්මපාල ජාතික පාසලෙනි. ඒ අවධියේදී වොලිබෝල් ක්‍රීඩාවට ඇල්මක් දැක්වූ ඉන්දික කලාප, දිස්ත්‍රික් තරගවලට පවා සහභාගී වී ඇත. අධ්‍යාපනය අතරමග නවතා ඉන්දික හමුදාවේ රැකියාව සදහා යන්නේ පවුලේ ආර්ථික ප්‍රශ්න එන්න එන්නම දරුණු වූ බැවිනි.

    2009.03.11 ඉන්දිකගේ ජීවිතයේ දුක්බරම දිනයයි. පුදිකුඩුඉරුප්පු කලපුවේදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව ඔහු ඇදට වැටෙන්නේ එදිනයි. 25 වියැති ඉන්දික ජීවිතයේ හොදම කාලයේ රෝද පුටු, අත් වාරු ආධාරයෙන් ගතකරන්නට වීම පිළිබද අනන්ත වාරයක් සුසුම් හෙලූහ. එහෙත් සිරුරින් අබාධිත වුවද මනසින් අබාධිත නොවූ ඉන්දික ජීවිතය දිනන්නට හිත හයිය කර ගත්තේය. අන්තර්ජාලයෙන් අබාධිත පුද්ගලයින්ගේ ක්‍රීඩා තරග නරඹා ඉන් පන්නරය ලැබූ ඉන්දික සමාජයට බරක් නොවී ඉදිරියට පියවර තියන්නට අදිටන් කර ගත්තේය. නුවන් ඉන්දික නම් ලොව දිනන ක්‍රීඩකයා මතුවන්නෙ ඉන් පසුවයි.

    2018 ඉන්දුනීසියාවේ පැවති පැරා ආසියානු ක්‍රීඩා උළෙලේදී දුර පැනීමෙන් රීදී පදක්කම, 2021 ඉන්දියාවේ පැවති විවෘත පැරා ශුරතාවලියේ මීටර් 100 හා දුරපැනීම රිදී පදක්කම්, 2022 චිනයේ පැවති පැරා ආසියානු උළෙලේ මීටර් 100 වාර්තාවක් සමගින් රන් පදක්කම හා දුර පැනීමෙන් රිදී පදක්කම, 2024 ලෝක පැරා ශුරතාවලියේ මීටර් 100 ලෝකඩ පදක්කම ඔහු ලැබූ නොමැකෙන ජයග්‍රහණයන් කිහිපයකි. 2024 පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී ඉන්දික දැය වෙනුවෙන් හා තමාගේ අනාගතය වෙනුවෙන් පදක්කමක් දිනන්නට දැඩි අදිටනින් පසුවෙයි.

    දුක් කදුළු දුරට විසිකර ජයග්‍රහණය ලගාකරගත් පාලිත බණ්ඩාර

    – යගුලිය විසිකිරීම

    ගොවිතැන ප්‍රධාන ජීවන වෘත්තිය වූ මාතලේ පල්ලේගම, කලුගග නම් ගම්මානය එච්. ජී. පාලිත බණ්ඩාරගේ උපන් ගම විය. මිල්ලවාන මහා විද්‍යාලයෙන් ඔහු අකුරු කළේය. පාසල් සමයේදී පලිත සහභාගී වී තිබුණේ වොලිබෝල් ක්‍රීඩා තරග සදහා වීම විශේෂත්වයකි.

    2009 වසරේදී යුධ හමුදාවට එක්වීමේ අරමුණින් නිවසටද නොදන්වා පාලිත පිටව යන්නේ එය පැවසූවා නම් දෙමවුපියන්ගෙන් අවසරය නොලැබෙන බව දන්නා බැවිනි. හමුදාවේදී රෙජිමේන්තු අතර වොලිබෝල් තරග සදහා පාලිත නිරන්තරයෙන් සහභාගී විය. අවසනාවන්ත අනපේක්ෂිත සිදුවීමකට පාලිත මුහුණදෙන්නේ 2013 වසරේදීය. ඒ් වොලිබෝල් ක්‍රීඩා කරන අතරතුර මිතුරෙක් සිය පාදය මතට ඇදවැටීම නිසා ඔහුගේ පාදය කැඩීයාම හේතුවෙනි.  දිගු කලක් එක්තැන්ව සිටින පාලිත නැවත ජීවිතය ගොඩනගා ගන්නේ ක්‍රීඩාවට එක්වීමෙනි. පුහුණු ගුරුවරයෙකුද නොමැතිව අන්තර්ජාලයේ වීඩියෝ බලමින් පුහුණුවූ මුල් අවධිය පාලිතට කිසිදා අමතක කළ නොහැක.

    පසුව ගුරුවරයෙකු යටතේ පුහුණුව ලබන පාලිත විශිෂ්ට ජයග්‍රහණ රැසක් දැයට අත්කර දුන්නේය. 2018 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ යගුලිය විසි කිරීම රිදී පදක්කම, 2022 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීම රිදී පදක්කම, 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ යගුලිය විසිකිරීම ලෝකඩ පදක්කම, 2024 ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ යගුලිය විසිකිරීම ලෝකඩ පදක්කම පාලිතගේ ජයග්‍රහණ අතර වේ. 14.27ක දුරක් වාර්තා කරමින් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානයේ පසුවන පාලිතගේ පැතුම මෙවර පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී එය ඉක්මවාගොස් ඉදිරියට පැමිණ පදක්කමක් දිනාගැනීමයි.

    යළිත් වරක් ඔලිම්පික් දිනන්නට යන සමිත දුලාන්

    – හෙල්ල විසිකිරීම

    මාතර දෙණියායේ හැදී වැඩුණු සමිත දුලාන් පාසල් අධ්‍යාපනය ලැබූයේ දෙණියාය ජාතික පාසලෙනි. පාසල් සමයේදී හෙල්ල, කව පෙත්ත හා යගුලිය විසිකිරීම යන ඉසව් තුනටම සමිත දස්කම් දැක්වීය. හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කරමින් සමස්ත ලංකා තරග සදහා සුදුසුකම් ලබන්නට පවා ඔහු පාසල් අවධියේදීම සමත් විය.

    2009 දී ශ්‍රී ලංකා හමුදා පොලිසියේ සේවයට එක්වන සමිත 2016 යුධ හමුදා ආධුනික මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ වාර්තාවක් පිහිටුවන්නේ අනාගතය පිළිබද පෙරනිමිති පෙන්වමිනි. එහෙත් සමිත යතුරු පැදියකින් යමින් සිටියදී කලුතරදී අනතුරකට ලක්වන අතර වසර 2ක් නාරාහේන්පිට රෝහලෙහි ඇදක කල් ගත කිරීමට සිදුවන්නේ ගතේ මෙන්ම හිතේ වේදනාවද සමගිනි. එහෙත් සමිත ඒ් සියලු අභියෝග පරදා 2018 වසරේ සිටම නැවත සිය ක්‍රීඩා ජීවිතය ආරම්භ කරමින් ධෛර්යෙන් නැගී සිටියි.

    2020 ටෝකියෝ පැරා ඔලිම්පික් හෙල්ල විසිකිරීමෙන් සමිත දිනූ ලෝකඩ පදක්කම ඔහුගේ ක්‍රීඩා ජීවිතයේ නොමැකෙන මතක සටහනකි. එයට අමතරව 2023 පැරිස් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ලෝකඩ පදක්කම, 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම සුවිශේෂ වේ. 2024 ජපානයේ  පැවති ‍ලෝක පැරා මලල ක්‍රීඩා උළෙලේ F64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගී වෙමින් දුලාන් රිදී පදක්කම හිමිකරගන්නේ F 44 කාණ්ඩයේ ලෝකයේ වැඩිම දුරක් හෙල්ල වීසි කළ ක්‍රීඩකයා බවට පත් වෙමිනි. මෙවර පැරිස් පැරා ඔලිම්පික් උළෙලේදී පදක්කමක් දිනාගැනීම ඔහුගේ ඒ්කායන අරමුණයි.

    වයසින් කුඩා වුවද හැකියාවෙන් ලෝකයක් දිනූ ජනනි ධනංජනා  

    –  දුරපැනීම

    කුලියාපිටිය සුරදූත බාළිකා විද්‍යාලයේ 13 වසරේ ඉගනුම ලබන 19 හැවිරිදි ජනනී ධනංජනා වයසින් කුඩා වුවද හැකියාවෙන් මේවන විටත් ලෝකයක් දිනා සිටියි. පාසලේ ක්‍රීඩාංගණයක් නොමැති බැවින් 2018 පාසල් නිවාසන්තර තරග සදහා මීගහකොටුව, ශිල්පශාලිකා ක්‍රීඩාංගණයට තරගවලට පැමිණි ඇයගේ දක්ෂතා දකින පලාත් පාලන පුහුණුකරු ඇයව මුළින්ම පැරා ක්‍රීඩාවට සම්බන්ධ කර ගනී. අතක් ආබාධයකට ලක්වී තිබුනද ජයනිගේ අභිමානවත් ගමනේදී ඇය ඒ් සියලු බාධක පරාජය කිරීමට තරම් ධෛර්යසම්පන්න විය. ජයනි ධනංජනාගේ ජීවිතය සහ ක්‍රීඩා ගමන විශේෂයෙන්ම නව පරපුරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පූර්වාදර්ශයක් වනු නොඅනුමානය.

    ඇය සිය ජාත්‍යන්තර ක්‍රීඩා ගමන අරඹන්නේ 2018 ජකාර්තා පැරා මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමිනි. 2021 ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ දුර පැනීම, මීටර් 100 හා මීටර් 200 ඉසව් ත්‍රිත්වයෙන්ම ලෝකඩ පදක්කම් දිනාගැනීමට ඇය සමත් විය. එතැන් සිට 2022 ඉන්දීය විවෘත ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමෙන් රන් පදක්කම, 2023 ඉන්දීය විවෘත පැරා මලල ක්‍රීඩා ශුරතාවලයේ මීටර් 100 රන්, දුර පැනීම රිදී, මීටර් 200 ලෝකඩ පදක්කම්, 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දුර පැනීමෙන් රිදී පදක්කම, 2024 ලෝක පැරා ගෝන්ප්‍රී තරගාවලියේ මීටර් 100 රන් හා දුර පැනීමෙන් රිදී පදක්කම් ඇය දිනාගත්තාය. 2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රිඩා උළෙලේදී හොදම පෞද්ගලික කාලය වාර්තා කරමින් රට වෙනුවෙන් හොද දෙයක් කිරීමට ඇය මහත් බලාපොරොත්තුවෙන් සිටියි.

    රෝද පුටුවෙන් ජයග්‍රාහී ටෙනිස් පිටියට සුරේෂ් ධර්මසේන

    – රෝද පුටු ටෙනිස්

    සුරේෂ් ධර්මසේන හැදී වැඩුණේ අනුරාධපුර කහටගස්දිගිලියේ පළුකෙටුවැව ගම්මානයේය. හේන් ගොවිතැන පවුලේ ජීවන වෘත්තීය විය. ගමේ පාසලේදී දක්ෂ ලෙස වොලිබෝල ක්‍රීඩා කළ ඔහු සමස්ත ලංකා තරග පවා නියෝජනය කළේය.

    2007දී මින්නේරිය යුද හමුදා පාබල පුහුණු මධ්‍යස්ථානයේ යුද පුහුණුවට එක්වන සුරේෂ් පුහුණුවෙන් පසු උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම්වල සටනේ නිරත වෙයි. 2009 පුදුකුඩුඉරිප්පු චලෙයි කලපුව අසලදී භායානක බිම් බෝම්බයකට හසුව අනතුරට ලක්වන සුරේෂ්ට නැවත සිහිය එනවිටදී දුක්කදුළු හිමිකරමින් ඔහුගේ වම් පාදය අහිමි වී තිබුණි.

    2010දී පනාගොඩ යුද හමුදා මූලස්ථානය්දී ජෙනරල් සර්ගේ බලකිරීමට කිසිම දෙයක් දැනනොසිටි ටෙනිස් ක්‍රීඩාවට ඔහු යොමු විය.  රෝද පුටුවට වී ගතකළ එකාකාරී ජීවිතයෙන් මිදෙන්නට ඔහුට අවශ්‍ය වී තිබිණි.  ගිනි අව්වේ දාඩිය දාගෙන ක්‍රීඩා කරදිදී දියපට්ට මතුවන්නට විය.  දවසෙන් දෙකෙන් ක්‍රීඩාව එපා විය. ගහන ගහන තරගයද පරාජය විය. එහෙත් තරගය අතනොහැරි සුරේෂ් වෙහෙස නොබලා පුහුණු වී අවසානයේ  තම ඉලක්කය කරා පැමිණියේය.

    සුරේෂ්ගේ ජයග්‍රහණ අතරට 2017 මැලේසියා පැරා විවෘත ටෙනිස් තරගාවලිය, 2018 තායිලන්ත ජාත්‍යන්තර ටෙනිස් සම්මේලන පැරා ටෙනිස් තරගාවලියද ඇතුළත් වේ. එම වසරේම ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ටෙනිස් තරගාවලියේදී සුරේෂ්, ලසන්ත රණවීර සමඟ එක්වෙමින් යුගල ශූරතාවය දිනා ගත්තේය. එය මෙරට පැරා ටෙනිස් ඉතිහාසයේ දිනා ගත් පළමු ආසියානු පදක්කම වේ. 2024 පැරිස් පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී හොදම 16 අතරට පැමිණීම සුරේෂ්ගේ ඉලක්කයයි.

    අභියෝගවල නොගිලී ජයග්‍රහණය කරා පිහිනන නවීඩ් රහීම්

    – මීටර් 400 පිහිනුම් නිදහස් ආර

    ගම්පහ, රාගම උපන් නවීඩ් රහීම් තවමත් 19 වියැති තරුණයෙකි. ඔහු ඉගනුම ලබන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේය. 2015දී සිය සහෝදරයාගේ පිහිනුම් පුහුණුවීම් බලන්නට ගිය මොහොතක නවීඩ්ටද පිහිනුම් පුහුණුවීම් සදහා ඇරයුමක් ලැබිණි. ඒ් වනවිට ඔහු හයේ පන්තියේ ඉගනුම ලැබූ අතර වයස ඉක්මවා නවීඩ් පැමිණි මේ උත්සාහවන්ත ගමන ඇරඹෙන්නේ එලෙසිනි.

    උපතින් ආබාධිතව සිටියද නවීඩ් හැකියාවෙන් අංග සම්පූර්ණ බව මේවන විටත් ලොවටම පෙන්වා ඇත. 2017 ඩුබායි ආසියානු යොවුන් පැරා තරගාවලියේ පිහිනුම් ඉසව්ව ඔහුගේ පළමු ජාත්‍යන්තර තරග නියෝජනයයි. වයස අවු 16දී  2021 ආසියානු යොවුන් පැරා තරගාවලියේ මීටර් 400 පිහිනුම් නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම  දිනාගන්නට ඔහු සමත් වීම සැබවින්ම සුවිශේෂය. නවීඩ්ගේ මුහුණට නොපැසූවද බොහෝ දෙනෙකු සිතුවේ 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී පිහිනුම් ඉසව්වෙන් පදක්කමක් ලබා ගැනීම අසීරු කාර්යයක් බවයි. එහෙත් මීටර් 400 පිහිනුම් නිදහස් ආර ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනන්නට ඔහු සමත් වන්නේ සියල්ලන් විශ්මයට පත් කරමිනි. 2024දී සිංගපූරුවේ සිටි පැරා පිහිනුම් ලෝක තරගාවලියේ අවසාන වටයට තේරීපත්වන්නටද නව යොවුන් ක්‍රීඩක නවීඩ් සමත් වෙයි.

    මෙවර පැරිස් පැරා ඔලිම්පික් තරගාවලිය සදහා තේරීපත් වී ඇති බව දැනගත් දිනය නවීඩ්ට කිසිදා අමතක නොවේ. ශ්‍රී ලංකාව පැරා ඔලිම්පික් පිහිනුම් ඉසව්වක් නියෝජනය කරන්නේ වසර 20කට පසුවයි. එහිදී උපරිම දක්ෂතාවය දක්වා රටට කීර්තියක් ගෙන ඒ්මට හා ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට ඒ්මට නවිඩ් දැඩි අධිෂ්ඨානයෙන් පසුවෙයි.

    පදක්කම් සිහිනය පසුපස දුවන ප්‍රදීප් සෝමසිරි

    – මීටර් 1500 ධාවන

    ඇහැළියගොඩ, කිරිපොරුව ගමේ සුන්දරත්වය මැද උස්මහත් වූ ඒ්. ඩබ්. ප්‍රදීප් සෝමසිරි මුල් අධ්‍යාපනය ලබන්නේ කිරිපොරුව විද්‍යාලයෙනි. පසුව ඔහු උසස් අධ්‍යාපනයට මුල්ගහපිටිය ශ්‍රී සුමන පිරිවන වෙත නික්ම යයි. පාසල් සමයේදී දිස්ත්‍රික්, කොට්ඨාස, සමස්ත ලංකා ධාවන තරග සදහා ප්‍රදීප් සහභාගී වන්නේ දුවන්නට ඔහු තුළවූ සහජ හැකියාව දැයට ප්‍රදර්ශනය කරමිනි.

    උපතින්ම අබාධිතව සිටි ප්‍රදීප් 2016දී ක්‍රීඩා අමාත්‍යාංශයට එන්නේ විශේෂ අවශ්‍යතා සහිත වූවන් සදහා වන ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ ආසාව හිතේ තබාගෙනය. එහෙත් ඔහුගේ ඉරණම් ගමන එහිදී වෙනස් වෙයි. ඒ් එහිදී හමුවන කුරුවිට හමුදා කදවුරේ කැප්ටන් කෙනෙකු නිසාය. ඔහුට පැරා ක්‍රීඩා සදහා සම්බන්ධ වන්නට හා ඒ් සදහා පුහුණුවට මග පෑදෙන්නේ ඉන් පසුවයි.

    2017 ඩුබායි ආසියානු යොවුන් පැරා තරගාවලියේ මීටර් 400 හා 200 ධාවන ඉසව් සදහා රිදී පදක්කම් ලබාගන්නා ප්‍රදීප් එම වසරේම ශ්‍රී ලංකා ජාතික සංචිතයට එක්වීමට වරම් ලබයි. එහෙත් පසුකාලයේ රට තුළ ඇතිවූ කොරොනා තත්වය ඔහුගේ ක්‍රීඩාගමන අඩාල කළේය. වසරකට පමණ පසු ආරාධනයකට අනුව නැවතත් ප්‍රදීප් ක්‍රීඩාවට එක්වන්නේ මීටර් 1500 ධාවන ඉසව්ව නියෝජනය කරමිනි. ඉන් අනතුරුව 2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම හා 2024 මොරොක්කෝ පැවති ලෝක පැරා ග්‍රෑන්ඩ් ප්‍රික්ස් මලල ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනාගන්නට ඔහු සමත් වෙයි. මෙවර පැරිස් පැරා ඔලිම්පික් තරගාවලියේදී විශිෂ්ට කාලයක් වාර්තාකරමින් පදක්කමක් ජයග්‍රහණය කිරීම ප්‍රදීප්ගේ පැතුමයි.

     

     

     

     

     

    Diyani Editors
    • Website

    Related Posts

    පූජනීය ශ්‍රී පාද කන්දේ සුන්දරත්වය හෙටටත්!

    මැයි 27, 2025

    කිරුළ දරන්නට සූදානම් වන්න!

    මැයි 9, 2025

    තරුණ තිරසර නායකයින්ට MAS වෙතින් හරසර

    මැයි 7, 2025
    Leave A Reply Cancel Reply

    Categories
    • Active (26)
    • Bodyline (7)
    • Events (9)
    • Fabrics (6)
    • Featured (49)
    • Intimates (16)
    • Kreeda (16)
    • Linea Aqua (4)
    • Silueta (1)
    • Sports (10)
    • Talent (2)
    • Texo (1)
    • Top News (72)
    • Uncategorized (9)
    • Video (21)
    • WGB (4)
    Facebook Instagram YouTube

    MAS Holdings, the largest apparel tech company in South Asia, is a leading concept-to-delivery solution provider in apparel and textile manufacturing, sought after by the world's leading brands.

    Cookie Policy

    Copyrights © 2023 Diyani Online Magazine.

    Site by LK Designers.

    Type above and press Enter to search. Press Esc to cancel.

    අ
    அ