අලුතින් ඉදි කරන ලද තෝරපල ඔය ඇළ මාර්ගය, ඉකිරියගොඩ ප්‍රදේශයේ ගෙඩබෝයාය සහ කොලේයාය යන ගම්මානවල කෘෂිකාර්මික පුනරුදය සඳහා මූලික අඩිතාලමක් විය. මෙයට පෙර වගා කිරීමට නොහැකිව තිබූ අක්කර 300කට අධික පුරන් කුඹුරු ප්‍රමාණයකට මේ හරහා ජලය සැපයූ අතර, එය ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ආදායම් මාර්ග සහ ජීවන තත්ත්වය උසස් කිරීමට විශාල පිටුවහලක් විය.
කෙසේ වෙතත්, මෑතකදී ඇතිවූ “දිට්වා” සුළි කුණාටුව හේතුවෙන් මෙම ඇළ මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවී ඇත. මේ නිසා වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයීම මුළුමනින්ම ඇනහිට ඇති අතර, මෙම වාරි පද්ධතිය මත යැපෙන ගොවි ජනතාව සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකිව දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටී.
එවන් මොහොතක MAS SHADELINE ආයතනය විසින් ලෝක ජල දින සැමරුම කේන්ද්‍ර කර ගනිමින් බාහිර ප්‍රජා සහභාගීත්ව වැඩසටහනක් ලෙස මෙහි ප්‍රතිසංස්කරණ කාර්යය සඳහා ඉදිරිපත් විය.
මෙම ඇළ මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා අත්‍යවශ්‍ය වේ. මෙමගින් ග්‍රාම නිලධාරී වසම් තුනක ගොවීන්ට සිය වගා කටයුතු සඳහා අවශ්‍ය ස්ථාවර ජල සැපයුම නැවත ලබා ගැනීමට හැකි වේ. එමෙන්ම, වර්ෂාව මතම යැපෙන්නේ නැතිව යල සහ මහ යන කන්න දෙකම සාර්ථකව වගා කිරීමටත්, ඒ හරහා අක්කර 300ක කුඹුරු ප්‍රමාණයෙන් උපරිම අස්වැන්නක් ලබා ගැනීමටත් ගොවීන්ට අවස්ථාව උදා වේ.
මෙම තෝරපල ඔය ඇළ මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම යනු හුදෙක් භෞතික ඉදිකිරීමක් පමණක් නොව, එය ප්‍රදේශයේ ගොවි පවුල්වල ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන සහ ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරන තීරණාත්මක පියවරකි.







