1716 වැනි වරටත් අභිමානවත්ව පැවැත්වෙන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ “දළදා වීදි දැක්ම” වෙනුවෙන් MAS Contourline ආයතනය විසින් නිල ඇඳුම් සහ මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ලැබූ අතර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා වෙත එය නිල වශයෙන් පිළිගැන්වීම පසුගියදා සිදු විය.
මෙම අති පූජනීය හා සුවිශේෂී අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය තල්පොත ධම්මජෝති ස්වාමීන් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ මහලේකම්වරයා, පරිපාලන ලේකම්වරයා ඇතුළු පූජ්‍ය පක්ෂය සහ නිලධාරීන් එක්ව සිටියහ. එසේම MAS Activewear නියෝජනය කරමින් සංජීව සෙනෙවිරත්න මහතා, MAS Contourline නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී දුමින්ද බණ්ඩාර මහතා, මානව සම්පත් හා පරිපාලන කළමනාකාර තිලංක මැදිවත්ත මහතා ඇතුළු මානව සම්පත් අංශයේ සාමාජිකයින් හා සේවක නියෝජිත සභාවේ නියෝජිත පිරිසක් ද මෙම සදැහැති අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රී දළදා පෙරහැරේ අභිමානය, ශතවර්ෂ ගණනාවක් පැවත එන පෞරාණික සම්ප්‍රදායන් සහ සංස්කෘතික වටිනාකම් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීම උදෙසා MAS Contourline ආයතනය දක්වන මෙම සක්‍රීය දායකත්වය ඉහළින් අගය කළ යුතුය. එමෙන්ම ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුමයන් කෙරෙහි Contourline හි ඇති ගෞරවය සහ සමාජීය වගකීම මෙම සුවිශේෂී දායකත්වය තුළින් තවදුරටත් තහවුරු විය.







